යටිහේන විද්‍යාලය

පාසලේ ඉතිහාසය

🎉 අපගේ පාසල් වෙබ් අඩවිය දැන් සජීවී වේ! 🎉

432753429_418748747370521_6749283245243760539_n.png
432753429_418748747370521_6749283245243760539_n.png

වර්ෂ 1958 ක් වූ ජනවාරි මස 06 වන දින ආරම්භය සනිටුහන් කරමින් යටිහේන මායා විද්‍යාලය ස්ථාපිත විය. ඒ ලංකා බෞද්ධ ආයතනයේ අනුදැනුම ඇතිව යටිහේන පාඨශාලා කාර්ය සාධක සමිතිය මඟින් ඉඳිකරන ලද තාවකාලික ගොඩනැඟිල්ලකය. ශිෂ්‍ය සංඛ්‍යාව 199 ගෙන් සමන්විත වූ මෙම පාසල බෞද්ධ මිශ්‍ර පාසලක් විය. පහළ බාලාංශයේ සිට පස්වන පන්තිය දක්වා  සමාන්තර පන්තිවලින් සමන්විත වූ මෙහි W.ඉලංගකෝන් මහතා සහ  M.C.T.ගුණරත්න මහතා යන ගුරුභවතුන් දෙදෙන ආරම්භක ගුරු භවතුන් විය. එවකට මෙහි මුල් ගුරුවරයා වූයේ W.ඉලංගකෝන් මහතාය. ඉදිකරන ලද තාවකාලික ගොඩනැඟිල්ල 1958 මාර්තු මස 09 වන දින පතිත වූ ධාරානිපාත වර්ෂාව හා බලවත් කුණාටුව හේතු කොටගෙන කඩා වැටිනි. ඉන්පසු 1958 මාර්තු 12 වන දින සිට යටිහේන විමලකීර්තියාරාම ධර්ම ශාලා ගොඩනැඟිල්ලෙහි පාසල පවත් වන ලද අතර 1958 ජූලි මස 11 වන දින ප්‍රථම වරට ගුරු දෙගුරු සමිතිය රැස් කර පාසලේ ස්වාභාවය පිළිබඳ දැනුවත් කරන ලදී. එහිදි H.S.පෙරේරා ඇතුලු කිහිප දෙනෙකු විසින් පරිත්‍යාග කරන ලද ඉඩමක නව ගොඩනැඟිල්ල ප්‍රදේශවාසින්ගේ ආධාර උපකාරයෙන් ඉදිකෙරිනි.

1958 සැප්තැම්බර් 20 වන දින එම ගොඩනැඟිලි වල පන්ති පැවැත්වීම් ආරම්භ කරන ලදී. එදින ගුරු දෙගුරුන්ගේ ප්‍රමුඛත්වයෙන් රාත්‍රි පිරිත් සජ්ජායනාවක් හා මහා සඝගත දක්ෂිනාවක් පවත් වන ලදී.ඉතාකෙටි කලයක් තුල ලැබූ සීග්‍ර දියුණුව නිසා රජය මඟින් 1959 මාර්තු මස 02 වන දින මෙම පාසල යටිහේන කනිටු විදුහල නමින් රජයට පවරා ගන්නා ලදී. රජයට පවරාගත් මෙහි වැඩබලන ප්‍රධානාචාර්‍යවරයා M.D.අබිලින් මහතා වූ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ දක්වා (1-11දක්වා) පන්ති පැවැත්වින. එවක අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විසින් 1959 මැයි 4 වන දින පත්කරන ලද U.D.W.ධර්මදාස මහතා රජයට පවරා ගැනීමෙන් පසු මුල් ගුරුවරයා වශයෙන් වැඩ භාරගන්නා ලදී. පාසල රජයට පවරාගැනීමත් සමඟම සීග්‍ර දියුණුවක් සෑම අංශයක් තුළම ඇති විය. 

1963 වර්ෂයේ මුලභාගයේදී ධර්මදාස මහතා විශ්‍රාමයාමත් සමඟම විදුහල්පති වරයා ලෙස B.G.ගනේපොළ ආරච්චි මහතා ලෙස පත්විය. පාසලේ අධ්‍යාපන මට්ටමක්කරා ගෙන යාමට ඔහුට හැකි වී තිබේ. 1964 වර්ෂයේදී ඔහුගේ විශ්‍රාම යාමත් සමඟM.S.මදුරප්පෙරුම මහතා වැඩභාරගන්නා ලදී. මෙතුමාගේ උත්සහය මත 1968 වර්ෂයේදී මෙම විදුහලට නව ගොඩනැඟිල්ලක් ඉදිකර ගැනීමට හැකිවිය. 1969 ජනවාරි මස එතුමා විශ්‍රාම ගිය පසු P.A.බෝගොඩ මහතා විදුහල්පති වශයෙන් වැඩ භාරගන්නා ලදී. මෙතුමාගේ උත්සහය මත A.E.අල්විස් මහතාට අයත් අතිරේක ඉඩම් කැබැල්ලක් නැවතත් පාසලට ලබා ගන්නා ලදී. 1970 ජූලි මස P.A.බෝගොඩ මහතාගේ විශ්‍රාම යාමෙන් පසු P.R.රාජපක්ෂ මහතා විදුහල්පති වශයෙන් වැඩභාරගත් අතර මෙම කාල වකවානුවේදී පාසලේ අධ්‍යාපන මට්ටම උසස් තත්ත්වයක පැවතිනි. P.A.බෝගොඩ මහතාගේ ස්ථාන මාරු වීමෙන් පසු 1971 වර්ෂයේ දී L.පියවර්ධන මහතා විදුහල්පති වරයා වශයෙන් වැඩභාර ගන්නා ලද අතර මෙකල විෂය බාහිර ක්‍රියාකාරකම් තුලින් හා අධ්‍යාපන තත්ත්වය අතින් උසස් මට්ටමකට පත් කරන ලදී. මෙකල ආගමට මුල් තැන දෙමින් ක්‍රියාකරන ලදී. 1980 දී මෙතුමාගේ විශ්‍රාමයාත් සමඟ D.P.A.පෙරේරා මහතා විදුහල්පති වශයෙන් වැඩභාරගත් අතර 1984 දී ඔහු විශ්‍රාම යන ලදී. නව විදුහල්පතිවරයා වශයෙන් A.K.R.K.පෙරේරා මහතා පත්වූ අතර 1990 දක්වා ඔහු මනා කැපවීමකින් පාසලේ දියුණුව සඳහා වැඩ කරන ලදී. මෙතුමාගේ මූලිකත්වයෙන් පාසලට බුදුමැඳුරක් ඉඳිවූ අතර තූර්ය වාදක භාණ්ඩ කට්ටලයක් ලබාගත්තේය. මෙකල අධ්‍යාපනික ප්‍රගතියක් ඇති වූ අතර ක්‍රීඩා කෞශල්‍ය දියුණු මට්ටමක පැවතිණි. මේවන විට ගුරුභවතුන් 17ක් හා සිසුන් 37ක් සිටියහ.A.K.R.K.පෙරේරා මහතාගේ විශ්‍රාමයාමෙන් පසු K.A.විද්‍යාරත්න මහතා විදුහල්පති වශයෙන් පත්විණ. මෙම කාලය තුළ බටහිර තූර්යවාදක කණ්ඩායමක් බිහිකරන ලදී. එලෙසම වසරක් පාසා නිවාසන්තර ක්‍රීඩා තරඟ පැවැත්විණ. 1991 වර්සයේදී ප්‍රථම වරට අත්පන්දු, දැල්පන්දු ක්‍රීඩා තරග සඳහා ඉදිරිපත් වී ජයග්‍රහන ලබාගන්නා ලදී. පාසලට අඩු පාඩුවක්ව පැවැති ක්‍රීඩා පිට්ටනියක් ලබා ගැනීමට මෙතුමාට හැකිවිය. තවද ගොඩනැඟිලිවල බිත්ති බැඳ, ෂීට් දමා ප්‍රතිසංස්කරණය කිරීමද මෙතුමා අතින් සිදු විය. මේ වන විට ගුරුභවතුන් 28 දෙනෙකු ද සිසුන් 500 ඉක්මවා සිටියහ. K.A.විද්‍යාරත්න මහතාගේ විශ්‍රාමයාමෙන් පසු 2008 වර්ෂයේදී පූජ්‍ය හීනිපැල්ලේ අනුරසිරි හිමි වැඩ බලන විදුහල්පති වශයෙන් පත්විය. ගරු ස්වාමින් වහන්සේගේ කාලය තුළ පාසලේ මායිම් වැට ප්‍රතිසංස්කරණය කරන ලදී. 

2010 වර්ෂයේ මාර්තු මස 20 වන දින B.H.S.N.බඹරැන්ද මහතා විදුහලේ වැඩභාරගන්නා ලදී. එතුමා විසින් විදුහලට කළ සේවය අතිමහත්ය. පාසලට අඩුපාඩුවක්ව පැවැති භෞතික සම්පත් ලබාගෙන සිසු පරිහරණය සඳහා යෙදවීය. ඒවා අතරින් නව තෙමහල් ගොඩනැඟිල්ල ඉඳිකිරීම, පුස්තකාල ගොඩනැඟිල් ඇතුලු එහි සියලු සම්පත් ලබාගැනීම, ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම, එලෙසම සෞන්දර්ය ඒකක, ගෘහ විද්‍යා ඒකකය, විද්‍යාගාරය, පරිගණක ඒකකය උපදේශන ඒකකය, මුරකුටිය ආදිය ස්ථාපනය කිරීම සිදු කරන ලදී. තව ද බුදු මැඳුර ප්‍රතිසංස්කරණය කර පාසලට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් යොදා සකසන ලදී. එලෙසම ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කරන ලද අතර කසල දාහකය ප්‍රතිස්ථාපනය කර කසල කළමනාකරණයට අවශ්‍ය කටයුතු සකසන ලදී. මෙතුමාගේ කාලය තුළ සිසුන් 700 පමණ ද ගුරුභවතුන් 35 ක් ද සිටියහ. මෙම වාකවානුුව තුළ අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල ප්‍රගතියක් ද දක්නට ලැබුනාහ. එනම් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා අ.පො.ස(සා.පෙළ) විභාග ප්‍රතිඵල වර්ෂිකව සංවර්ධනය වෙමින් පැවතිණ. තව ද සෞන්දර්ය විෂයන් හි පළාත් මට්ටමේ ජයග්‍රහන රැසක්  අත්කර ගන්නා ලද අතර ක්‍රීඩා කෞෂල්‍ය ඔප්නංවමින් ජවන හා පිටිය තරග වලින් ජයග්‍රහන රැසක් අත් කරගන්නා ලදී. එමෙන්ම පාසලේ පිහිට වූ නෙට්බෝල් හා කබඩි කණ්ඩායම් සමස්ථ ලංකා කුසලතා ලබා ගනිමින් පාසලට මහත් කීර්තියක් අත්කර දන ලදී. මෙසේ සෑම අංශයකින්ම පාසලේ දියුණුව වෙනුවෙනු ඇපකැප වූ මෙතුමා දින ස්ථාන මාරු වීමෙන් පසු පාසලේ වැඩ බලන විදුහල්පතිනිය වශයෙන් K.N.S.සෙනරත් මහත්මිය වැඩ භාරගන්නා ලදී. මෙතුමිය පාසලේ වැඩකටයුතු එලෙසම පවත්වාගෙන යන අතර තුර 2016 මාර්තු මස ශ්‍රේණිධාරී විදුහල්පති වශයෙන් R.P.D.W.රාජපක්ෂ මහත්මිය වැඩ භාරගන්නා ලදී. මෙම කාලය තුල පාසලට පැමිණෙන මාර්ගය පිළිබඳ මහත් වූ ගැටළුකාරී තත්ත්වයක් පැන නැඟි තිබූ අතර එම ගැටලුව නීති මාර්ගගෙන් විසදා ගැනීමට එතුමිය මහත්සේ කැප විය. එලෙසම පාසලට පිවිසෙන මාර්ග දෙපස තාප්පය ඉඳි කිරීමට මෙතුමිය මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. එලෙසම පාසලේ පිටුපස මායිම් වැට සැකසීම හා ගෘහ විද්‍යා ඒකකය පුළුල් කිරීම ආදී භෞතික සම්පත් ඉඳිකිරීමේ ලා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ලදී. එලෙසම අධ්‍යාපනික වශයෙන්ද මහත් දියුණුවක් අත් කර ගැනීමට ද හැකි විය. එනම් 2016 වර්ෂයේදී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් සිසුන් 15 දෙනෙකු සමත් වූ අතර වැඩිම ලකුණු 190 ලබා ගනිමින් පාසලට මහත් කීර්තියක් අත්කර දීම මේ කාල වකවානුවේදී සිදුවිය. එලෙසම ඉදිරියේ පවතින විභාග තුලින් ද ඉහල ප්‍රතිඵල සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා වැඩ පිළිවෙලයන් දියත් කරමින් පාසලේ අධ්‍යාපනික සංවර්ධනය ඇති කිරීම සඳහා මහත් කැපවීමෙන් මෙතුමිය සේවය යෙදී සිටී.

2016 වර්ෂයේ විද්‍යාලයට විෂය සමගාමී මෙන්ම විෂය භාහිර ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට ලැබුණු වර්ෂයක් වීම ද විශේෂය.සම්ත ලංකා සමූහ වාදන පළමු ස්ථානය, ප්‍රාථමික ජන ක්‍රීඩා ඇසුරින් නර්තනය දෙවන ස්ථානය ලබා ගැනීම ඉන් සමහරකි. 2017, 2018 වර්ෂ ද ඉහත පරිදිම ගෙවී ගිය අතර 2017 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) ප්‍රතිඵල 75% ක් ඉක්මවීමට විද්‍යාලයීය දරුවන්ට හැකිවිය.2018 වර්ෂයේ ද නර්තන, සිංහල භාෂා , සමාජ විද්‍යා , ඉංග්‍රීසි, චිත්‍ර මෙන්ම ක්‍රීඩා අංශයෙන් ද ජයග්‍රහන රැසක් පාසලට අත් විය.
2018 වර්ෂයේදී තෙමහල් ගොඩනැගිල්ලේ දෙවන අදියර ආරම්භ කළ අතර ආරක්ෂිත තාප්පය ද ඉදිකර අවසන් කරනු ලැබීය.2018 වර්ෂයේ තේරී පත්වූ ශිෂ්‍ය නායක නායිකා දරුවන් සහ පාසලේ සියලුම සිසුන්ගේ ආධාර උපකාර සහිතව රත්නපුර ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වූ ගංගොඩ ප්‍රාථමික විද්‍යාලය ට සහෝදරත්වයේ දෑත් දිගුකර එම පාසල අලුත් වැඩියා කර එහි දරුවන්ට අවශ්‍ය  පොත් පත් ආදියද බෙදා දීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

2019 වර්ෂයේ පාසලට අඩුපාඩුවක්ව පැවති බටහිර තූර්යවාදක කණ්ඩායමක් ප්‍රාථමික සිසුන්ගෙන් නිර්මාණය කිරීමට හැකිවිය. එමෙන්ම සමස්ත ලංකා සහ පළාත් තරගාවලි ජයග්‍රහන රැසක් දිනා ගැනීමට ද අපට හැකිවිය. ඒ අතර සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලිය නියෝජනය කළ ජිත්මි කවීජා ශිෂ්‍යාව ශාස්ත්‍රීය වාදන ඒකල ප්‍රථම ස්ථානය දිනා සරස්වතී සම්මානයෙන් පිදුම් ලැබුවාය. එමෙන්ම ක්‍රීඩා අංශයෙන් සමස්ත ලංකා ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ සෙනුදි දිනාරා ශිෂ්‍යාව 15 න් පහළ හෙල්ල විසිකරීම ප්‍රධම ස්ථානය දිනා ගන්නා ලදී.විදුහල්පතිතුමියගේ මග පෙන්වීම මත ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහයෝගයෙන් මෙවැනි ජයග්‍රහන අත් කර ගැනීමට අප විද්‍යාලයට හැකි විය. 

2020 වර්ෂයේදී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම  නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සෞඛ්‍යය කඳවුර පමණක් යෝජිත ව්‍යාපෘති ඇසුරින් නිමකිරීමට හැකිවිය. කෝවිඩ් 19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් අනෙක් ව්‍යාපෘති හෝ ප්‍රජා සංවර්ධන කටයුතු කිසිවක් සිදුකිරීමට නොහැකි විය. 2020 වර්ෂයේදී ශ්‍රේණිධාරී නව නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස මදාරා සුගන්දි මහත්මිය පෙබරවාරි මස වැඩ භාරගන්නා ලදී. 2020 වර්ෂයේදී ජාතික ඵලදායිතා සම්මාන උළෙලේ පාසල් අංශය නියෝජනය කරමින් විශේෂ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමට අප පාසලට හැකිවිය. ඒ සදහා පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්යමණ්ඩලය දායක විය.

2021 වර්ෂයේදී කෝවිඩ් වසංගත රෝග තත්ත්වය නිසා කිසිදු විෂයය සමගාමී හෝ විෂයය බාහිර ක්‍රියාකාරකම් කිසිවක් පාසල තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. 
2022 වර්ෂය තුළද අධ්‍යයන කටයුතු වැඩි වශයෙන් සිදු කෙරුණු අතර පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම දෙදින නායකත්ව පුහුණු කඳවුර ප්‍රායෝගික චිත්‍ර කඳවුර ගෘහ විද්‍යා නිර්මාණ ප්‍රදර්ශනය පෙර පොහොය වැඩසටහන් ඇතුළු විෂයය සමගාමී කාර්යයන් රැසක්ද සිදුකරන ලදී. මෙම වර්ෂයේදී R.P.D.W.රාජපක්ෂ විදුහල්පතිතුමිය වෙනත් පාසලකට ස්ථාන මාරු ලැබීම හේතුවෙන් ඉන් පුරප්පාඩු වූ විදුහල්පතිධූරයේ රාජකාරි නියෝජ්‍ය විදුහල්පති මදාරා සුගන්දි මහත්මිය විසින් ආවරණය කරන ලදී.

2023 වර්ෂයේ මාර්තු මාසයේදී ශ්‍රේණිධාරී විදුහල්පතිනිය ලෙස මදාරා සුගන්දි මහත්මිය වැඩ භාරගන්නා ලදී. 2023 වර්ෂයේද පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම ශිෂ්‍යනායක කඳවුර භක්ති ගීත වැඩසටහන ගුරු සංවර්ධන වැඩසටහන ආදී නොයෙක් විෂයය සමගාමී මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සිදුකරන ලදී.